ප්‍රශ්ණය:ඔබගේ මංගල ටෙස්ට් තරගය ඔබට අහම්බෙන් ලැබුන එකක්.ඔබ ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියේ නැහැ.ඔබ බය වුනා නේද?

පිළිතුර: නැහැ.එහෙම වුනේ නැහැ.බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයන් අතර පළමු පෙළ තරගාවලිය වූ ”ෂෙල් පළිහ” තරඟාවලියේ 1965 දී මම බොහෝ ලකුණු ලබා ගත්තා.ඇත්ත වශයෙන්ම මම 65/66 එංගලන්ත සංචාරයට යන්න සෑහෙන බළාපොරොත්තු ඇතුව හිටියේ.ඔවුන් මාව හැළුවා.කියා නිමකරගන්න බැරි දුකක් දැනුනා. බොහෝ අය කනගාටුව පළ කළා.මං හිතන්නේ අපගේ දූපත් රාජ්‍යයන් අතරේ එකඟතාවයන් මතත් සමහර වෙලාවට ක්‍රීඩකයන් කපා දැමුනා.ඒ කාලය ඒ විදිහයි.දූපත් තේරීම් කමිටු අතර අදහස් හුවමාරු වීමේදී “ඔබ මට X දෙන්න,මම ඔබට Y දෙන්නම්.” වගේ කෝටා තිබුනා.ඒ නිසා මට ඒ සංචාරය මගහැරුණා.නමුත් ඊලඟට 1966 ඉන්දියානු සංචාරය ආවම මට හිතුනේ නිකමට වගේ ගෝනියේ දාගෙන මාව ඉන්දියාවට අරන් ගියා කියලා.

ඒ සංචාරයේ ටෙස්ට් තරඟ පටන් ගන්න කලින් ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් අපේ කණ්ඩායම හා සම්බන්ධ වුනා.ඒක දේශනා චාරිකාවක් කියන්නත් පුළුවන්.ඔහු නිකම් පුහුණු දැල් වල වැනි වැනි හිටපු මා ගාවට ආවා:

තරුණයා මේ අහනවා.තමුසේ එංගලන්තයට ගිහින් තමුසෙට පුරුදු නැති හීතලට දෝලනය වන බෝල වලට ගහන්න ගිහින් නිස්කාරනේ විනාස වෙනවාට වඩා හා පුරා කියල ඉන්දියාවට ආපු එක ගැන සතුටු වෙනවා.අපේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් හැමෝම තමන් කවුද කියලා මුලින්ම පෙන්නුවෙ ඉන්දියාවේ දී.හොඳට ඒක මතක තියා ගන්නවා.”

කතා කළේ සර් වොරල් නිසා මම ඒක පිළිගත්තා.

උදෑසන,පළමු තරඟය ආරම්භයට මිනිත්තු 40 කට පෙර, සෙයෙමාර් නර්ස් පුහුණු දැල තුළදි අත තුවාල කර ගත්තා.අපේ කපිතාන් ගැරී සෝබර්ස් මා දිහා බලා කීවා”උඹ ඇතුලේ.ලෑස්ති වෙයන්” කියා.

ඒක තමයි මගේ ජීවිතේ ලැබුනු ලොකුම සතුට.හරියට අහසේ පාවෙනවා වගේ.

ඒත් අපි මුලින්ම පන්දු රැකපු නිසා මට ඔළුව හදා ගන්න වෙලාව තිබුනා.අපි පන්දුවට පහර දීමට පැමිණි විට මම හොඳින් මගේ වැඩේ කළා. මගේ පළමු ටෙස්ට් තරගයේදී නොදැවී 82 සහ 78, ඔවුන්ට ඊට පස්සේ මාව හලන්න බැරි වුණා.සෝබර්ස් සහ මම තරගය අවසන් කළා.ඒක තමයි ආරම්භය.

මම කවදාවත් ඒ විදිහේ ගුණාත්මක දඟ පන්දු යවන්නන් දැක තිබුණේ නැහැ.භගවත් චන්ද්‍රසේකර්,ශ්‍රී නිවාස් වෙන්කට් රාඝවන් වගේ.ඒ නිසා ඒක ටිකක් පරීක්ෂණයක්.ඊට අමතරව,මම මගේ ජීවමාන ක්‍රිකට් පිළිම ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියා.සර් කොන්රඩ් හන්ට්,සර් රොහාන් කන්හායි,සර් සෝබර්ස්..

ඒ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව දෙස ආපසු හැරී බලන විට,මම දැන් කල්පනා කරන දෙය නම් අපව කිසිවකු විසින් පුහුණු නොකළ බවයි.මාව කවදාවත් පුහුණු කර නැහැ. එබැවින් ඔබ අනෙක් පුද්ගලයින් දෙස බලා ඔවුන් ඒ දේවල් කළේ කෙසේදැයි සොයා බැලීම සුදුසු නැහැ.ක්‍රීඩාවට භාවනාවක් වගේ හැමෝම බැඳිලා හිටියේ.

මට හැම විටම ඉතා ආක්‍රමණශීලී වෙන්න ඕන වුනා.අපි දැල්වලට ගියා,පුහුණුවීම් කළා,අපේ වැඩේ හරියට කළා.හැම දෙයක්ම ඊට පස්සෙ අපේ පසුපස ආවා.රැකියාවක් කරනකොට කරන්න ඕන එහෙමයි.