එක්කෙනෙක් නව් ජෝත් සිං සිධු.

අනෙකා බී.සී.ලාරා.

සිධු ගහද්දි මුරලි දුස්‍රා පන්දුව හොයාගෙන තිබුනෙ නෑ.ඒ නිසා සිධුව ලොකුවට උස්සල තියන්න බෑ.

ඒත් ලාරා මුරලිගෙ දූස්රා එකටත්,ටොප් ස්පින් එකටත් පැල් බැඳන් ගැහුව.ෂේන් වෝන්ගෙ ෆ්ලිපර්,ගූග්ලි,ටොප් ස්පින් ඕන එහෙකට ඕන තැනකදි ගැහුව.

ලාරගෙ කාලෙ ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨම දඟ පන්දු යවන්නො දෙන්නා වෙච්චි මුරලිටයි වෝන්ටයි දෙන්නටම නැත්තට නැතිවෙන්න ගැහුව කියන්නෙ ලාරා එසේ මෙසේ පිතිකරුවෙක් නෙවෙයි.

ඒ වගේම,
මැග්‍රාත්,කැඩික්,ෆ්‍රේසර්,ගෆ්,කෝක්,කැස්ප්‍රොවිච්,ගිලෙස්පි,බොන්ඩ්,මොරිසන්,ස්ට්‍රීක්,ඩොනල්ඩ්,කලිස්,පොලොක්,වසීම්,වකාර්,අක්තාර් වගේ මාර සේනාවකට ලාරා ගැහුවෙ ඉතා පහසුවෙන්.

ගොඩක් වෙලාවට ලාරාගෙ විකට් එක ගියේ පාර්ට් ටයිම් පන්දු යවන්නන්ට.

එහෙමත් නැත්නම් හොඳ ගානක් ගැහුවට පස්සෙ.

විනෝදය කියන කාරණය,නයිට් ක්ලබ්,මත්පැන්,යෙහෙළියන් වගේ දේවල් යම් පමණකට පාලනය කරලා වෘත්තීය දිවිය සමබරව තියාගත්ත නම් ලාරා ටෙස්ට් ලකුණු 15,000 ක් ගහන්නෙ කිසිම ප්‍රශ්ණයක් නැතුව.

ඒ වුනත් නොදැවී 400 යි 375 යි දෙකක්ම ගහන්න පුළුවන් වෙන කාටද..ඒ වගේම ෆස්ට් ක්ලාස් 501* ක් ????

2001 ලංකාවට එරෙහිව ගාල්ලෙදි බඹරෙ වගේ කැරකෙන විකට්ටුවක ලාරා ගහපු ලකුණු 221 දැක්ක කෙනෙක් මේ කතාවට එකඟ නොවී ඉන්නෙ නෑ.

ඒ මැච් එක ලංකාව දිනුව.ඒත් ලාරා අපේ හදවතේ අමරණීය වුනා.

මුරලිට තනි අතින් ස්වීප් ගැහුව.

මුරලි හිටියෙ දිව විකාගෙන.ඒ මැච් එක ගැහුවෙ වෙස්ට් ඉන්ඩීස් අපි එක්ක නෙවෙයි.ලාරා තනියම අපි එක්ක.ඒ තරම් සුපර්බ්..ග්‍රේට්..

සංගක්කාර එක තැනක කියනව විකට් එක පිටිපස්සෙ ඉඳන් එයාට ඒ ඉනිම බලන්න ලැබුන එකම කොච්චර වාසනාවක් ද කියල.

ඒ වගේම එක්තරා සාකච්ඡා සභාවක විස්තර විචාරක ජ්‍යෙෂ්ඨයො අතර තෙන්ඩුල්කාර් ද ලාරා ද කියල සංවාදයක් ඇතිවුන වෙලාවක සංගක්කාර කියනව එක සිද්ධියක් ගැන.

”ඒ 2005.ඒ කාලෙ 20-20 තරඟ ලෝකෙට අලුත්.”සුනාමි”ආධාර වලට ලෝඩ්ස් වල ලෝක කණ්ඩායමයි ආසියානු කණ්ඩායමයි අතර තිබුන 20-20 තරඟයට තෙන්ඩුල්කාර් හිටියෙ නෑ.ඒත් ඉන්දියන් කිහිපදෙනෙක් හිටිය.ලංකාවෙන් මම, මහේල,සනත්,වාස්,මුරලි උන්න.ආසියාව වෙනුවෙන් අපි මුලින් ගහල ඒ ගොල්ලන්ට එලවගෙන යන්න දුන්න.ස්ටීවන් ෆ්ලෙමින් අවුට් වුනාට පස්සෙ ලාරා ආවා ගහන්න.මම කඩුළු රකින්න හරි බරි ගැහෙනකොට ස්ලිප් ක්‍රීඩකය විදිහට උන්නෙ ලෝක පූජිත ඉන්දියානු ක්‍රීඩකයෙක්.ලාරා ඇවිදගෙන එනකොට ඔහු මට හෙමිහිට කියනව.

”ඔයා දන්නවද.මේ තමයි රජා.ඒකෙ ආයෙ දෙකක් නෑ.”

මුළු සාකච්ඡාවම සිනා සාගරයක ඒ ප්‍රශ්ණය විසඳගන්නව.ඒත් එතන හිටපු මාක් නිකලස් ට තවත් ප්‍රශ්ණයක් තියෙනව.

”සංගා කවුද ඒ ඉන්දියානු ක්‍රීඩකයා”

සංගා කීප වාරයක් එකෙල මෙකෙල වෙනව.ඒත හැමෝටම ඕන වෙනව සචින්ට ඉහලින් ලාරා තියපු ඒ ඉන්දියානු ක්‍රීඩකයා ගැන දැනගන්න.

සංගා කියනව.

”ඒ තමයි රාහුල් ද්‍රාවිඩ්”.

ලාරා හා ස්ලෙජින් ගැන කිව්වොත්..

ඕස්ට්‍රේලියානුවන් ගහන්නෙ මහා ජරා විදිහෙ ක්‍රිකට් නිසා අපට කොහොමත් ඒ අයව රුස්සන්නෙ නෑ.කෙක්කෙන් හෝ කොක්කෙන් දිනන එක තමයි ඒ අයගෙ විදිහ.ඉතින් පිතිකරුවෙක් පිට්ටනිය මැදට ආවාම ඔහුගෙ ඔළුව බිඳවට්ටන්න සෑහෙන්න කට කැඩුන කතා කියන එක ඔස්ට්‍රේලියන් සිරිත.ඕස්ට්‍රේලියාව දාගන්න ගෝරි අපමණයි.

”ලාරා ගහන්න ආවම පාඩුවෙ මගෙ වැඩේ කරනව ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්න බෑ.මොකද මුල් විනාඩි තිහ සෑහෙන්න තීරණාත්මකයි.ඒ විනාඩි තිහෙන් පස්සෙ කොහොමත් තීරණාත්මකයි”

-ෂේන් වෝන්-

”ඕන කෙනෙක් ට ස්ලෙජ් කරනව ලාරාට ඇර.මෑන්ට ස්ලෙජ් කරන්න බෑ.මොකද කියන දේවල් මිනිහ හිත ඇතුලටම ගන්නව.මිනිහ ඒවට බැට් එකෙන් උත්තර දෙනවට කිසි කෙනෙක් ආස නෑ.”

-ඉයන් හීලි-

ලාරාට මොකුත් කියන්නෙ නෑ.මොකද මිනිහගෙ දුර්වලතාවය හැමදේම සැහැල්ලුවට ගන්න එක.මුලදිම අවුස්සල බැරෑරුම් මූඩ් එහෙකට දැම්මොත් ඒක සෑහෙන භයානක වරදක්.

-ස්ටීව් වෝ-

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙ කප් ගහපු ඔසියො ලාරා ගැන මෙහෙම කියනව නම්,

බ්‍රයන් චාල්ස් ලාරා කියන අසිරිමත් වමත් පිතිකරුවා ගැන වෙනත් කිසිදු කතාවක් අවශ්‍ය නෑ.

”ට්‍රිනිඩෑඩ් වල කුමාරයා”.

බ්‍රයන් චාල්ස් ලාරා

ඒක ශ්රේෂ්ඨ ජීවිතයක්.