මේ ඔක්තෝබර් වල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට නෙදර්ලන්තය සුදුසුකම් ලැබුවා.ඒ පසුගිය දා සිම්බාබ්වේහිදි පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයෙන් අනුශූරතාවය දිනා ගැනීමෙන් පසු.

සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් තරඟයේ මෙන්ම ඊට පෙර හමුවූ අවස්ථාවේදීත් ශ්‍රී ලංකාවේ අමුතු ක්‍රිකට් නෙදර්ලන්තයට ආගන්තුක වී දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශණය කළත් වර්තමාන නෙදර්ලන්තය ලෙහෙසියෙන් සැළකිය හැකි කණ්ඩායමක් නොවේ.

මේ තරඟාවලියට සහභාගී වීමට නියමිත නෙදර්ලන්ත කණ්ඩායම දුටු විට අපට මතක් වන්නේ 1992 ලෝක කුසලානයට සහභාගී වූ කෙප්ලර් වෙසල්ස්ගේ දක්ෂතා සපිරි තරුණ දකුණු අප්‍රිකාණු කණ්ඩායමයි.

ඉතාම හොඳ තාක්ෂණයෙන් යුතු පිතිකරුවන්,සහජ බුද්ධියකින් යුතුව වේගයෙන් පන්දු යවන්නන්, කල්පනාකාරී දඟ පන්දුයවන්නන් සමඟ නෙදර්ලන්තය ක්‍රීඩා කරද්දී ආසාවෙන් බලාසිටිය හැකි ආක්‍රමණශීලී ක්‍රිකට් කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා.

(විශේෂයෙන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කන්ඩායම් වල ගිවිසුම් වලට බාධා වන නිසා ඒ ප්‍රාන්තවලට ගිවිසුම් ගතව සිටි නෙදර්ලන්ත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පහ හයකට පසුගිය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කිරීමට හැකි වුනේ නෑ.ඔවුන් අනුශූරයන් වූවේත් එවන් පසුබිමක් තුළයි.) ඒ නිසා ඔවුන් ලබන ලෝක කුසලානයේ සුපිරි වටයට තේරුනොත් එය කිසිසේත් අහම්බයක් නොවේ.

එනිසා සියළු පූර්ණ සාමාජික රටවල් වලට අපට කිව හැක්කේ නෙදර්ලන්තයෙන් පරිස්සම් වන ලෙසය.නෙදර්ලන්තය ඉතා ඉක්මනින් ICC පූර්ණ සාමාජිකත්වය ලබා ගත හැකි දක්ෂයන්ගෙන් සමන්විත වෙමින් තිබෙයි.

ඡායාරූප : පෝල් මිකෙරන්,මැක්ස් ඕ ඩොව්ඩ්,බස් ඩි ලී ඩ හා ෆ්‍රෙඩ් ක්ලාසන්